ප්‍රතිවිරෝධයේ සිට හෙජමොනිය දක්වා…

2008 වර්ෂයේ ඇතිවූ මුල්‍ය අර්බුදයේ පටන් ආර්ථික කප්පාදු පිළිවෙත් නිසා ග්‍රීක සමාජය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබේ. කෙසේවෙතත්, අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ජනයා එකිනෙකාට උපකාර කෙරෙන තත්වයේ වර්ධනයක් ඇති වී තිබේ. යුරෝපා සංගමයේ  ත්‍රෛමුල්‍ය බලපෑම් වලට (troika demands) (යුරෝපීය මධ්‍යම බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා කොමිසම) යටත්ව සිරිසා සන්ධානයේ පාවා දීමට මූලික අවධානය යොමු වීම හේතුවෙන් මහජන අවකාශයන් තුල ඇතිවුණු නිර්මාණාත්මක ක්‍රියාකාරීත්වයන් බොහෝ දුරට නොසලකා හැරුණි. තම “ප්‍රතිවිරෝධයෙන් හෙජමොනියට: කප්පාදු වලට එරෙහි අරගලය සහ නව ඓතිහාසික හවුලක අවශ්‍යතාවය” නමැති ලිපිය හරහා පැනජියෝටිස් සොටිරිස් විසින් වීදිවල සිදු වෙමින් පවතින අරගලයන් න්‍යායගත කිරීමට උත්සහා කරයි. එවැනි අරගලයන් හරහා යුරෝපා සංගමයේ කොන්දේසි වලට යටත් මැතිවරණ සන්ධාන මත නොරැදී බලය ලබා ගැනීමට නව මාර්ගයක් විවර කර ගත හැකි බවට ඔහු යෝජනා කර සිටී.

යුරෝපා සංගමය තුල ඇති වී ඇති අර්බුදය විස්තර කරමින් තම ලිපිය ආරම්භ කරන සොටිරිස්, 1991 මාස්ට්‍රිච් සම්මුතියට (Maastricht Treaty) එකඟ වෙමින් යුරෝපා සංගමයට සම්බන්ධ වන රටවල් යුරෝ මුදල් ඒකකය පාවිච්චි කිරීම සම්බන්ධයෙන්  මූල්‍ය සහ ෆිස්කල් වගකීම් වලින් බැදී ඇති බව පැහැදිලි කරයි. කෙසේවෙතත්, ගැටළුව වන්නේ මෙම ක්‍රියාවලිය හරහා අයවැය සැලසුම් කිරීමට අදාලව ප්‍රජාතන්ත්‍රීය සහභාගීත්වය තහවුරු කෙරෙන ගැඹුරු ආර්ථික සහයෝගිතාවයක් මෙම ක්‍රියාවලිය සමඟ ඒකාබද්ධ නොවීමයි. යුරෝපා සංගමයේ රටවල් අතර තරඟකාරීත්වය සහ අපනයන ක්ෂේත්‍රවල පවතින අසමබරතාවය හේතුවෙන්, උදාහරණයකට 2000 වර්ෂය ආරම්භක අවධියේදී ජර්මනිය තුල වැටුප් නිශ්චලනය (Wage freeze) කිරීම නිසාවෙන්, ග්‍රීක ආර්ථිකය දැවැන්ත පීඩනයකට ලක්විය. අවසානයේදී, 2008 වර්ෂයේ මූල්‍ය අර්බුදයත් සමඟ ණය ලබා දුන් ආයතනවල බලපෑම නිසාවෙන් ග්‍රීක ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණි.

සොටිරිස් විසින් උපුටා දක්වන සංඛ්‍යා ලේඛන වලට අනුව ග්‍රීසියේ වත්මන් රැකියා වියුක්ත ප්‍රතිශතය 27% වන අතර තරුණ රැකියා වියුක්තබාවය 60% ක් තරම් ඉහල අගයක් ගනී. මෙවැනි තත්වයක් යටතේදී පවා යුරෝපා මූල්‍ය බලපෑම් හරහා “අයවැය සමබර කිරීම” උදෙසා තවදුරටත් මහජන සේවාවන් කප්පාදු කිරීමට සහ බදු වැඩි කිරීමට බලපෑම් කරනු ලැබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ සමාජ ව්‍යසනයන් තීව්‍ර වීම සහ බොහෝ විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් පෙන්වා දී ඇති පරිදී දණ්ඩන රෙජීමයක් නිර්මාණය වීමයි.  යුරෝපා සංගමය, සොටිරිස්ට අනුව, තම ප්‍රතිපත්තීන් දෘෂ්ටිවාදාත්මකව සාධාරණීකරණය කිරීමට තවදුරටත් නොපෙළඹෙන අතර ඒ වෙනුවට කරමින් සිටින්නේ, “වඩාත් ප්‍රචණ්ඩ පාලන ක්‍රමවේදයන් අඩංගු කරගත් නවමු ආකාරයේ නවලිබරල් සමාජ වෙනස්කම්” ඇති කිරීම උදෙසා මැදිහත් වීමයි.

තවමත්, අර්බුදයේ ස්වරූපය විසින්ම ඊට අනුරූප ශක්තියකින් මහජන ප්‍රතිචාරයක් අවුස්සමින් තිබෙන අතර තම ලිපියේ සොටිරිස් මහජන අරගලයන් කෙරේ අවධානය යොමු කරයි. හෙජමොනික අර්බුදයට ආමන්ත්‍රණය කිරීම සඳහා අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ ප්‍රසිද්ධ සංකල්පයක් වන “ඓතිහාසික හවුල (Historical bloc)” සොටිරිස් විසින් නැවත න්‍යායගත කෙරේ. සොටිරිස් පෙන්වා දෙන පරිදී:

“හුදු මැතිවරණ සන්ධාන හෝ විවිධ සමාජ ස්තර හෝ සමාජ ව්‍යාපාර අතර සංධානයන් ගොඩ නැගීමක් ඓතිහාසික හවුල යන්නෙන් අදහස් නොවේ. ඒ වෙනුවට ඉන් අදහස් වන්නේ සමාජය වෙනස් ආකාරයට සංවිධානය වීමට සහ පරිපාලනය වීමට ඇති හැකියාව මුර්තිමත් කෙරෙන වඩාත් පුළුල් තලයක විව්ධාකාරයේ දේශපාලනයන්, සංවිධාන සහ විකල්ප කතිකාවන් ඉස්මතු කෙරෙන වෙනස්, නවමු ආකාරයේ සිවිල් සමාජ ආකෘතියක් ජනනය කෙරෙන එකතුවකි.”

සාමාන්‍යයෙන් ‘ඓතිහාසික හවුල’ පිලිබඳ අපට ඇති අදහස වන්නේ පාර්ලිමේන්තුව තුල පවතින විවිධ බලවේගයන්හි සන්ධානයක් යන්නයි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, සොටිරිස් ‘ඓතිහාසික හවුල’ නැවත අර්ථකථනය කරන්නේ පංති බලවෙගයන්වල ස්වභාවය සහ සංයුතිය සෘජු පරිවර්තනයකට ලක් කෙරෙන ආකාරයේ අරගලයන්ට අදාලවය. උදාහරණයක් ලෙස වැඩ කරන ජනතාව සහ ශිෂ්‍යයින් අතරත් ඉඩම් අහිමි ජනතාව සහ මුඩුක්කුවාසීන් අතරත් එවැනි සබඳතාවයන් ඇති විය හැකි අතර එහිදී කම්කරු සභා, අසල්වැසි සභා ආදී ලෙස අළුත් ආකාරයේ සංවිධාන ව්‍යුහයන් ඇති විය හැකි අතර ඒ ඔස්සේ විවිධ ජන කණ්ඩායම් අතර සෘජු සබඳතාවයන් ගොඩ නැගෙන අතර ඔවුන්ගේ පංති අනන්‍යතාවය පොදු හවුලකට අනුරූපව පරිවර්තනයට ලක්වේ.

සොටිරිස් පෙන්වා දෙන පරිදී ග්‍රීක නව ඓතිහාසික හවුල හරහා පිළිබිඹු වන්නේ පීඩිත සහ මධ්‍යම පංතිය අතර නැවත සංයෝජනය වීම සහ ඔවුන්ගේ ප්‍රතිවිරෝධයන්ගේ උපාය උපක්‍රම වල ප්‍රතිඵලය බවයි. මුල්ම කරුණ නම්, සමාජ චලනය පහලට සිදුවීම හේතුවෙන් නිසි අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථා හිමි වුවද මධ්‍යම පංතියට තවදුරටත් රැකියා සහ අනෙකුත් වරප්‍රසාද පිලිබඳ තම අපේක්‍ෂාවන් පවත්වා ගැනීමට නොහැකි වී ඇත. තරුණ රැකියා විරහිතබාවය ඉතා ඉහල අගයක් ගැනීම තුලින් මෙය මනාව ගම්‍ය වේ. මෙම අර්ථයෙන්, සොටිරිස් තර්ක කරන පරිදී, තරුණ පරපුරේ පංතිමය අපේක්‍ෂාවන් සහ එලෙසින්ම රැකියා අහිමි වී ඇති වැඩ කරන පංතියේ පංතිමය අපේක්‍ෂාවන් එක්තරා දුරකට සමපාත වී තිබේ. දෙවැනි කරුණ නම්, අසල්වැසියන්ට උපකාර කිරීම වැනි ක්‍රියාවන් හරහා අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වයන්ගේ ජාලයන් ග්‍රීක පුරවැසියන් විසින් ගොඩනගමින් තිබේ.

ඒ වගේම, යුරෝපා සංගමය සමඟ පැහැදිලි දේශපාලනික ඛණ්ඩනයකින් තොරව මෙම වෙනස්කම්වල අන්තර්ගත නවමු ආකාරයේ ප්‍රතිවිරෝධයන් ප්‍රතිඵලදායක නොවනු ඇත. යුරෝපා සංගමයෙන් ඛණ්ඩනය වීම තුලින් ඇත්තටම අරුත් ගැන්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳව සිතා බලන ලෙස සොටිරිස් යුරෝපීය වමට අභියෝග කර සිටී. ඇලෙක්සිස් සිප්‍රාස් (Alexis Tsipras) ප්‍රමුඛ සිරිසා ව්‍යාපාරය, යුරෝපීය මුල්‍ය සමාගම් වල ඉල්ලීම් සහ කොන්දේසි වලට අභියෝග කරන අතරේම යුරෝපා සංගමය තුල රැදී සිටීමට ඔවුන් තුල වූ කැමැත්ත තුලින් එම මුල්‍ය ආයතන වල නොනැමෙන සුළු ස්වභාවය, එනම් සොටිරිස් මතු කරන පරිදී  “කාවැදුණු නවලිබරල්වාදය” අඩුවෙන් තක්සේරු කර ඇත. ඒ වගේම, රාජ්‍ය පිලිබඳ අන්තගාමී ජාතිකවාදී ස්ථාවරය වෙනුවට ස්වෛරීභාවය පිලිබඳ ගැටළුව බැරෑරුම් ලෙස ගැනීමට වාමාංශයේ ඇති අකමැත්තේ වාසිය ජනප්‍රිය දක්ෂිණාංශික බලවේග විසින් අත් කරගෙන ඇත.

අවසන් වශයෙන්, සොටිරිස් මතු කරන පරිදී, “යම් දුරකට ස්වයංපෝෂිතබාවය, විමධ්‍යගතකරණය සහ කලාපීයකරණය සමාජවාදී හැඩයක් සහිත ඕනෑම ප්‍රතිපත්තියක අනිවාර්ය අංග වේ”. ගෝලීයකරණයේ නොවැලැක්විය හැකිබාවය පිලිබඳ නවලිබරල් ආඛ්‍යානයන්ට ප්‍රතිපක්‍ෂව සොටිරිස් යෝජනා කර සිටින්නේ “අසම්බන්ධකරණයයි” (de-linking). අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කෙරෙන ඕනෑම පර්යේෂණාත්මක අත්හදා බැලීමක් ප්‍රතිඵලදායක වන්නේ යුරෝපා සංගමය සහ එහි ආයතන සමඟ වන තීරණාත්මක ඛන්දනයක් ඒ හා සම්බන්ධ වුවහොත් පමණක් වන අතර මෙයට ප්‍රතිචාර ලෙස යුරෝපා සංගමයේ සම්මුතීන්වලට අකීකරු වීම වැනි “නීතියට පිටස්තර (extra-legal)” පියවර ගැනෙනු ඇත. මැතිවරණ පදනම් කරගත් සිරිසා පාලන උපක්‍රමයේ සීමාව වූයේ යුරෝපා සංගමයට ප්‍රසිද්ධියේම අකීකරු වීමේ මෙම අවශ්‍යතාවය පැන නැගුනු මොහොතය.

තම ලිපියේ සොටිරිස් තවදුරටත් සඳහන් කරන්නේ, “සැබෑ දේශපාලන බලය (බොහෝ දුරට බුර්ෂුවා පංතිය සතුව පවතී) සහ ආණ්ඩුකරන බලය අතර අවශ්‍යයෙන්ම අසමමිතියක් පවතින අතර එය අසමමිතියට එරෙහි විය හැක්කේ සමාජයේ පහල සිට ගොඩ නැගෙන ජනප්‍රියවාදී බලවේගයකට පමණි”. මෙම කාරණයේදී කතුවරයා විසින් ලෝක යුද්ධයන් අතර කාලය සම්බන්ධයෙන් ග්‍රාම්ස්චි විසින් මතු කරන ලද තර්කයක් ප්‍රතිනාදය කරන සෙයකි. එනම්, වැඩකරන පංතියට සරල අර්ථයෙන් බුර්ෂුවා රාජ්‍යය මෙවලම්වල බලය අල්ලා ගැනීම කල නොහැකි අතර ඒ වෙනුවට අත්‍යවශ්‍යයෙන්ම කල යුතු වන්නේ ඒවා පරිවර්තනයට ලක් කිරීමය. එම අර්ථයෙන්, ග්‍රීක රාජ්‍යය මත බලපැවැත්වෙන යුරෝපා සංගමයේ නීති සහ රෙගුලාසි වලින් තීරණාත්මක ලෙස කැඩී යාම හරහා ජනප්‍රිය විකල්පයන්ට අවකාශය නිර්මාණය කිරීමෙන් තොරව කිසිදු වාමාංශික පක්‍ෂයකට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත.

ශ්‍රී ලාංකීය සන්දර්භය තුල නවලිබරල්වාදය

ශ්‍රී ලංකාව, යුරෝපා සංගමය වැනි කලාපීය ආර්ථික සහ මුල්‍ය සංවිධානයක පාර්ශවකරුවෙකු නොවූවද රටක් ලෙස ගෝලීය ආර්ථිකයට දැඩි ලෙස ඒකාබද්ධ වී ඇති අතර ආනයන වෙනුවෙන් ගෙවීම පිණිස විදෙස් මුල්‍ය හුවමාරුව මත දැඩි ලෙස රඳා පවතී. මෑතකාලීනව ගෙවුම් ශේෂයේ දැඩි තෙරපුමක් ඇති වූ අතර පසුගිය රාජපක්‍ෂ රෙජීමය සමයේ හම්බන්තොට වරාය වැනි මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා දැවැන්ත ලෙස ණය ලබා ගැනීම හරහා “මුල්‍ය අර්බුදයක්” පිලිබඳ බියක්ද සමාජය තුල ඇති වී තිබේ.

වත්මන් රජය විසින් වරායේ වැඩි කොටසක් 99 අවුරුදු බද්දට චීනයට ලබා දීම හරහා රජයට සිදු වූ පාඩුව පිරිමසා ගැනීමට සැරසෙමින් සිටී. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ආයතන “රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර” ලෙස ප්‍රතිසංස්කරණය කල යුතු බවටද වත්මන් පාලකයින් විසින් අදහස් කර සිටී. ක්‍රමක්‍රමයෙන් පෞද්ගලීකරණය කිරීම තුලින් ගෝලීය මූල්‍ය ආයතනවල, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්‍ෂාවන්ට අනුරූප වන පරිදී ශ්‍රී ලාංකීය සමාජය පරිවර්තනය කිරීමේ වත්මන් පාලකයින්ගේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වී තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුල පෞද්ගලික ආයතන වල කාර්යභාරය පිලිබඳ කතිකාවට අදාලව මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී ඇති අර්බුදය තුලින් නව ඓතිහාසික හවුලක් පිලිබඳ සොටිරිස් ගෙන එන යෝජනාව ප්‍රතිමුර්තිමත් කෙරේ.

සයිටම් ආයතනයට විරුද්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය (අ.වි.ශි.බ.ම.), රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ර.වෛ.නි.ස.) සහ තවත් සමහර බලවේග තර්ක කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සම්මත තත්වයන් සපුරාලීමට නොහැකි වීම තුල සයිටම් ආයතනය වසා දැමීම හෝ රජයට පවරා ගැනීම සිදු කල යුතු බවයි. අනෙක් අතට, ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි සිසුන්ට සයිටම් ආයතනය විකල්පයක් වනු ඇති බවයි. ඔවුන්ගේ චෝදනාව වන්නේ ර.වෛ.නි.ස. විසින් අධ්‍යාපනය අයිතියකට වඩා වරප්‍රසාදයක් බවට පත් කරමින් “සංවෘත වෙළඳපොළක්” ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.

මෙම ව්‍යාකූල තත්වය තුල, ප්‍රධාන තලයේ වාද විවාද බොහෝ විට හඳුනා ගැනීමට අසමත් වූ කරුණක් නම්, අධ්‍යාපනය සීඝ්‍රයෙන් භාණ්ඩකරණයට ලක් වීම. ( growing commodification of education) එමනිසා, සයිටම් විරෝධයේ මූලික හේතුව වන්නේ සිසුන්ගේ තෝරා ගැනීම් සීමා කිරීම නොව පෞද්ගලික අංශයේ ග්‍රහණයට ලක් වීමෙන් මහජන අධ්‍යාපනය බේරා ගැනීමයි. අපගේ සාකච්ඡාව තුල මතු වූ මූලික කරුණක් වූයේ අ.වි.ශි.බ.ම. සහ ර.වෛ.නි.ස. යේ මූලික ඉල්ලීම (සයිටම් විරෝධය) බොහෝ දුරට සමාන වුවත් ඔවුන්ගේ අවසාන ඉලක්කයන් සහ ඒවාට ලගා වීම සඳහා වන ප්‍රවේශයන්හි සැලකිය යුතු වෙනසක් ඇති බවයි.

තම වෘත්තීය වටා සංවිධානය වුනු කණ්ඩායමක් ලෙස ර.වෛ.නි.ස. ගැන සාධාරණ විවේචනයක් මතු කල හැකි නමුත් ශිෂ්‍ය වීදි අරගල සඳහා සැලකිය යුතු ජන සහයෝගයක් ලැබීම, සයිටම් ආයතනයට ක්‍රියාත්මක වීමට ඉඩ දීම මගින් නිදහස් අධ්‍යාපනයට අනතුරක් විය හැකිය යන මහජනයා තුල පවතින බියට සාක්‍ෂියකි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මූලික ඉල්ලීම වූ අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කිරීම මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති වුවත් අ.වි.ශි.බ.ම. සහ අනෙකුත් ශිෂ්‍ය බලවේග මූලධාර්මිකව මෙන්ම ප්‍රායෝගිකවද නිදහස් අධ්‍යාපනය අයිතීන් ආරක්‍ෂා කිරීමට මැදිහත් වනු දැකිය හැකිය.

කෙසේ නමුත්, ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මහජනයාගේ අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමට අළුත්, විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නොසලකා හැර වීදි විරෝධයන් පිලිබඳව වැඩි අවධාරණයක් සහ බරක් තැබීම අපගේ සාකච්ඡාව තුලදී විවේචනයට ලක් විය. උදාහරණයක් ලෙස, ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ස්වේච්ඡා සහයෝගය මත මහජනයාට නොමිලේ පංති අධ්‍යාපනික පැවැත්වීම අරමුණු කරගත් සංවිධානයක් ගොඩ නැගීමට මැදිහත් විණි නම් එම විකල්ප ව්‍යුහයට නීත්‍යානුකූල තත්වය සහ උපාධි පිරිනැමීමේ අවසරය ලබා දෙන ලෙස ඉල්ලා රාජ්‍යයට බල කර සිටීමට හැකිවනු ඇත. අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි නොකර රාජ්‍ය විසින් නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් නොකරන්නේ නම් ශිෂ්‍ය ව්‍යාපාරයන් විසින් එවැනි අළුත් අවකාශයන් නිර්මාණය කිරීමට මැදිහත් විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නව පර්යේෂණාත්මක අත්හදා බැලීම් වලින් තොරව හුදෙක් විරෝධතා සහ උද්ඝෝෂණය කිරීමෙන් අරගලය පිළිබඳව සානුකම්පිත වීමට ඉඩ ඇති වැඩ කරන ජනතාව පවා අරගලයෙන් ඈත් වීමට ඉඩ ඇත. නවමු ආකාරයේ අධ්‍යාපන එළඹුම් හරහා අධ්‍යාපන ක්‍රමය තුල පවතින නිලධාරීවාදයට අභියෝගයට ලක් කරමින් අධ්‍යාපනයට සහභාගී වීමට හැකි වන පරිදී නව අවකාශයන් නිර්මාණය කිරීමට අමතරව සයිටම් පක්‍ෂපාතී තර්කයන්ගේ මූලික ලක්‍ෂණයක් වන “රැකියා පුහුණුව” ඉලක්ක කර ගත් පුද්ගලවාදී කතිකාවන් දුර්වල කෙරෙනු ද ඇත.

ඓතිහාසික හවුල යන්න සොටිරිස් (Sotiris) විසින් නැවත අර්ථ දක්වන පරිදී ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ සිසුන්, තම රැකියා සුරක්‍ෂිතබාවය වෙනුවෙන් අරගල කරන මෑන්පවර් සේවකයින්, තම ඉඩම් අයිතිය වෙනුවෙන් අරගල කරන උතුරේ අවතැන් වූ ජනයා ඇතුළු විවිධාකාරයේ අරගලයන් ඇතුලත් කරගත් නව ඓතිහාසික හවුලක පාර්ශවකරුවන් බවට පත් විය යුතුය. මෙම හවුල පැහැදිලිව සහ නිවැරදිව සංකල්පගත කිරීම තුලින් ඔවුනොවුන්ගේ අරගල වලට වෙනස් මානයක් එක් කෙරෙනු ඇති අතර ඒ ඔස්සේ වඩාත් ජනප්‍රිය ව්‍යාපාරයක් සමඟ ඒකාබද්ධ වීමෙන් රාජ්‍යයේ නවලිබරල් ප්‍රතිපත්තීන්ට සෘජුවම අභියෝග කල හැකි වනු ඇත.

Advertisements